07/10/2017
Adisham_Bungalow
ගමන් මග-ඇඩිසමි බංගලාවට
ඇල්ලට යන ගමනේ දී හමුවන තවත් සුන්දර තැනක් තමයි ඇඩිසම් බංගලාව කියන්නේ.
හපුතලේ නගරයෙන් ඔබ්බට වැලිමඩ පාරෙහි කිලෝ මීටර් දෙකක් පමණ ගමන් කළ විට හමුවන ග්ලැනර් වතුයාය අතරින් වම් අතට දිවෙන පටු මාවතෙහි කිලෝ මීටරයක පමණ දුර ගෙවා ගිය තැන, සිත් ගන්නා පරිසරයක පිහිටි පෞරාණික ඇඩිසම් බංගලාව හමුවේ.
මෙය සුවිශේෂී වීමට හේතු බොහොමයක් තිබෙනවා.
ඇඩිසම්හි නිර්මාණයට මූලික වශයෙන් දායකවී ඇත්තේ එහි හිමිකරු වූ ඉංගී්‍රසි ජාතික සර් තෝමස් විලියස් මහතාය. මෙයට ඇඩිසම් නාමය දෙනු ලැබුයේ ඔහු උපන් එංගලන්තයේ ඇඩිසම් ග්‍රාමය මුල්කරගෙන බවට පැවසේ.
අයර්ලන්තයේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම උපයෝගී කර ගනිමින් දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශීල්පීන් ලවා මෙම ගොඩනැඟිල්ලෙහි ඉදිකිරීම් හා නිර්මාණ කටයුතු කර ඇති අතර, 1931 වර්ෂයේදී සියලුම වැඩකටයුතු අවසන් කොට ඇත.
ගොඩනැගිල්ලෙහි සියලුම තැනීම් කටයුතු කලුගලින් නිම කොට ඇත. මහල් දෙකකින් සමන්විත මෙම නිවහනෙහි කාමර 25 ක් ඇති අතර, ඉන් 12 ක් ඉහළ මාලයේ ඇත. සියලුම කාමරවලට උෂ්ණත්වය සැපයීම සඳහා ගල් අඟුරු උදුන් ඇත. මෙම උදුන් වලින් පිටවෙන දුම් සහ අලු ගොඩනැඟිල්ලෙන් පිටතට ඇද දැමීම සඳහා භ්‍රමණාකාර කවුලු පියන් සහිත කුලුණු හයක් වහළෙහි සවිකොට ඇත.
එමෙන්ම සියලුම කාමරවලට උණු වතුර සැපයීම සඳහා විශාල බොයිලේරුවක් සහිත කාමරයක්‌ද, මුලුතැන් ගෙයක්‌ද පහත මාලයේ වෙයි. ගොඩනැඟිල්ලෙහි උලුවහු, වහළ සහ බිම තේක්‌ක ලී වලින් සාදා ඇත. සීලිමෙහි කැටයම් ප්ලාස්‌ටර් පැරිස් වලින් නිම කොට ඇත.
තේක්‌ක ලී වලින් නිමකොට ඇති වහළ ඉතා දැකුම්කලුය. වැස්‌සෙන් හා අව්වෙන් කිසිදු හානියක් නොවන අයුරින් දැනට වසර 69 ක පමණ කාලයක් මෙම ලී වහළ ආරක්‍ෂා කරගෙන ඒම සඳහා වසර දෙකකට වරක් විශේෂිත තෙල් වර්ගයක් ආලේප කරනු ලබයි.