31/07/2026
Through this visual documentation of the "769th Devinuwara Esala Perahera 2026", we as Team Infocuor aim to promote cultural awareness, celebrate the traditions that shape our national identity, and highlight the historical and spiritual significance of one of Sri Lanka's most treasured cultural festivals.
📖 Continue reading below to learn more about the history and significance of the Devinuwara Esala Perahera.
✍️ Article Compiled by: Mihiri Meedum | Jayawardana | Madhusha Sewwandi | Dilakshi K Mendis
📸 Captured by: Bimal Weerakoon | Pasindu Jayathilaka
📝 Edited by: Pasindu Jayathilaka
"සුරිඳුනි දෙවිනුවර" ඇසළ පෙරහැර මංගල්‍යය – 2026 🙏
වර්තමානයේ මුළු දිවයිනේම අවධානය යොමුව තිබෙන 769 වැනි "සුරිඳුනි දෙවිනුවර" ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි මස 14 සිට අගෝස්තු මස 05 වැනි දිනය දක්වා දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාල භූමියේ දී පැවැත්වේ. එහි මුල්ම පේළි පෙරහැර පසුගිය ජූලි මස 23 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ අතර ජූලි මස 29 වැනි ඇසළ පොහෝ දින විචිත්‍රවත් අන්දමින් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරුණි.ශ්‍රී ලංකාද්වීපයත් සම්බුද්ධ ශාසනයත් රකින්නට වරම් ලද ශ්‍රී විෂ්ණු දෙවියන් බැතියෙන් පුදන මේ ඇසළ පෙරහැර, පෙරහැර ඉතිහාසයේ වැදගත් ස්ථානයක් ගන්නා අතරම පෙරහැර පිලිබඳව පමණක්ම නොව දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය වටා ද ගොඩනැඟුණ විවිධ ඓතිහාසික සිදුවීම් මාලාවන් බොහෝමයක් පිලිබඳව අපට අසන්නට ලැබේ.
දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම අතීතයේ පටන් බැතිමතුන්ගේ වන්දනාමානයට ලක් වූ පුණ්‍යවන්ත භූමියකි. ඒ සඳහා හේතු සාධක වූ කාරණා කිහිපයක් වෙයි. රාම රාවණා යුද්ධය සිදුවු ස්ථානය ලෙස ද, සිරිලකට අරක්ගත් සතර වරම් දෙවියන්ගෙන් උප්පලවණ්ණ දෙවියන්ට කැප වු පුද බිම ලෙසත් දෙවිනුවර හඳුන්වා දිය හැකිය. ක්‍රි.ව.140 දී ඇඳි ටොලමිගේ ලෝක සිතියමේ, දෙවියන්ගේ භූමිය ලෙස අර්ථවත් වන "දගන" නමින් මෙම පෙදෙස හදුන්වා තිබීමෙන් ඒ බව වඩාත් තහවුරු කරයි.
උප්පලවණ්ණ දේවාලයේ ඉතිහාසය 7වන සියවස දක්වා ඈත අතීතයට දිවයන අතර ජනප්‍රවාද සහ පැරකුම්බා සිරිතෙහි සඳහන්වන පරිදි දපළුසෙන් හෙවත් දෙවැනි දප්පුල රජු (ක්‍රි.ව.659-665) ගේ පාලන සමයේ දෙවිනුවර වෙරළට පාවී ආ කිහිරි කඳකින්, විශ්වකර්මයා විසින් නෙළන ලදැයි සැලකෙන උත්තපලණ්ණ දෙවියන්ගේ දේව ප්‍රතිමාවක් තැන්පත් කර දෙවිනුවර දේවාලය තනවා ඇත. මෙම කිහිරි කඳ, උත්පලවණ්ණ දෙවියන් විසින් එවන ලද්දක් බව බැතිමතුන් අදටත් විශ්වාස කරයි.1587 දී පෘතුගීසින් විසින් ලංකාද්වීපය අල්ලා ගැනීමෙන් පසු පැරණි තෙමහල් දේවාල ගොඩනැගිල්ල විනාශ කර ඇති අතර, මහනුවර යුගයේදී නැවත ඉදිකර ඇති නමුත් එකල පැවති හින්දු ආභාෂය හේතුකොටගෙන මෙය විෂ්ණු දේවාලයක් බවට පත්වී ඇත. වර්තමානය වන විට උත්පලවණ්ණ සහ විෂ්ණු යන දෙවිවරුන් දෙදෙනාම එක් අයෙකු ලෙස සලකා බැතිමතුන් පුදපූජා සිදුකරන පුදබිමක් ලෙස දෙවිනුවර මධ්‍යයේ නීලවර්ණයෙන් බබළන මෙම දෙවොල හඳුන්වාදිය හැකි ය.
බෞද්ධ හා හින්දු සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත දෙවිනුවර ශ්‍රී උත්පලවණ්ණ විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර දිවයිනේ පැරණිතම හා ජනප්‍රියතම පෙරහැරකි. ක්‍රි.ව.1257 දී පමණ ආරම්භ කරන ලද මෙම ඇසළ පෙරහැර පේළි පෙරහැර හයකින් සහ රන්දෝලි පෙරහැරකින් වර්තමානයේදී සමන්විත වේ.පෙරහැර ඉතිහාසය 7 වන සියවසේ දප්පුල රජ සමය දක්වා දිවයන අතර පසුකාලීනව 13 වන සියවසේ දඹදෙණියේ රජ කල දෙවන පරක්‍රමබාහු රජු පෙරහැර මංගල්‍යය විධිමත් ලෙස සංවිධානය කර වාර්ෂිකව පැවැත්වීමට සිරිත් විරිත් ස්ථාපිත කරන ලදි.නමුත් 16 වන සියවසේදී පෘතුගීසි ආක්‍රමණ හමුවේ දේවාලය විනාශ කළ අතර පසුකාලීනව දෙවන රාජසිංහ රජු දේවාලය ප්‍රතිනිර්මාණය කර සාම්ප්‍රදායික චාරිත්‍ර හා පෙරහැර ක්‍රම ආරම්භ කළහ.දෙවිනුවර ඇසළ උත්සව සමයට බැතිමත්හු ඊට කල් ඇතිවම පේ වන අතර කතරගම දෙවියන් ද පෙරහැරට වැඩම කරන බව ඔවුන් විශ්වාස කරති.කසකරුවන්, ධජ රැගෙන යන්නන්, පන්දම් රැගෙන යන්නන්, දකුණු පහතරට බෙරකරුවන් මෙන් ම දකුණේ සුවිශේෂ අංගයක් වන කාවඩි නැට්ටුවන්ගෙන් මෙම පෙරහැර මංගල්‍යය සමන්විත වේ.කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා හාල්කිරි දානයක් දේවියන් උදෙසා පූජා කිරීමෙන් වාර්ෂික ඇසළ උත්සවය නිමාවට පත්කෙරේ.
දකුණුළක මහත් හරසරින් පවත්වනු ලබන මෙම පෙරහැර, සංස්කෘතික හා සමාජයීය වශයෙන් මහත් වැදගත්කමක් උසුලයි. දකුණු පළාත ඇතුළුව නන් දෙසින් පැමිණෙන අති මහත් බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේ සාමූහික සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පෙරහැර සහජීවනය සහ සහයෝගීත්වය ඔප් නංවාලයි. තවද ලංකාවේ දකුණු දෙස පහතරට සංස්කෘතියට ආවේණික වූ විවිධ කලාංග වන කප් සිටුවීම, කෝල්මුර යාගය, ගිනි පෑගීම මෙන්ම දකුණට ආවේනික වූ කාවඩි නර්තනය වැනි අංග එක් වන අතර එය දේශීය ගැමි කලාවන් හා සංස්කෘතිකාංග වලින් පෝෂණය වූ ද එවන් සංකෘතිකාංග රැකගැනීමට උර දෙන්නා වූ පෙරහැරකි. සමස්ත ජනතාවටත් රටත් සෙත් ප්‍රාර්ථනා කරමින් දේව ආශිර්වාදය ලබා ගැනීම උදෙසා සිදු කරන්නා වූ දෙවිනුවර ඇසළ පෙරහැර වටිනා සංස්කෘතිකමය උරුමයකි.
📲Follow us on ;
Youtube: https://youtube.com/?si=VqF6vgbM6077bKhT
WhatsApp: https://whatsapp.com/channel/0029Vb67RtOEKyZKIUcVbI07
Reproducing of this image for any purpose without the permission of Infocuor Photography Society is prohibited and it is considered as a copyright violation
©️ 2026 | All Rights Reserved for Infocuor