10/07/2024
ලී සම්බන්ධ වැඩක් තිබුනොත් අම්මා අනිවාර්යයෙන් කතා කරන මේ අන්කල් දැක්ක පළවෙනි දවසේ ඉදලා මේ වෙනක් ඒ මූනේ හිනාවක් තිබ්බ නැති දවසක් මට මතක නෑ. වැඩි කතාබහක් නෑ, වැඩ කඩිසරයි පිළිවෙලයි. කීප පාරක් ගෙදර ඇවිත් තිබුනට මට හරියට කතාවක් දාන්නවෙලාවක් හම්බුනේ නෑ අද වෙනකම්. මට වඩා වයසින් වැඩි කෙනෙක් එක්ක එහෙම කතාවක් දාන්න හම්බුනොත් මම ඒ චාන්ස් එක මිස් කරන්නේ නෑ ගොඩක් වෙලාවට, මොකද මම අත්දැකීමෙන් දන්නවා ඒ කතන්දර වල සෑහෙන ජීවිත පාඩම් තියනවා කියලා. මේ අද අතරින් පතර උන කතාබස් ගොඩක මගේ හිතේ පැල උන කොටස් ටිකක්,
" පුතා, කවදාවත් උළුවහු වලට බාල ලී දාන්න එපා, කාලෙත් එක්ක ඇද ගහන්න බලනවා, ලාබෙ බලන් මිනිස්සු කරාට ඇද ගැහුවම බිත්ති කඩන එකේ ඉදන් වියදම බැලුවම ඒක පාඩුයි "
" සමහර ලෑලි වලට සත්තු කට ගහන්නේ නෑ පුතා, හයිය නිසා උන්ට අමාරුයි, ටූනා ලෑල්ලේ නම් සත්‍තු කටගහන පැත්තක් තියනවා, ලේ පාර ආව පැත්‍ත විතරයි උන් කට ගහන්නේ "
(කුඹුරු ගැන කතාවක් ආවා)
" පුතා උකුණු ගහ දන්නවද? "
මම : අහලා නෑ අන්කල්
" ඒකෙන් තමා පාගන ගොයම් එකතු කරන්නේ, ඒකෙන් එකතු කරලා එක තැනකට දානවා ඉතුරු වෙන වී ටිකත් හැලුවට පස්සේ, ඊළගට ඒවා පිදුරු "
" මේ යන විදිහට තව ටික කාලෙකින් යතු කැටයක්, නගුලක්, වියගහක් දකින්න වත් නැති වෙයි සමහර විට "
මේ වගේ කතා ගොඩක් කිව්වා, ඒවගෙන් මේ ටික විතරක් ලියන්නත් හේතුවක් තිබ්බා. එක වෙලාවකදී තේරුනා මොකද්දෝ විදිහකින් මේවා නිකන් කතා විතරක්ම නෙමෙයි කියලා. හවස තේකක් බොද්දී කල්පනා උනා, ලාබෙ බලාගෙන බාල ලෑලි තීරණ ජීවිතේ ගන්න හොඳ නෑ කියලා, ඒවා ඇද ගැහුවම දුක වැඩී, මානසිකව වියදම වැඩී. ආයි සත්තුන්ට කට ගහන්න බැරි වෙන්න අපි හයිය වෙන්න ඕනේ, එතකොට වටිනාකම වැඩී. ලේ පාරවල් තියාගන්න හොඳ නෑ පොඩි හරි අවස්තාවක් වෙන්න මිනිස්සු අතින් පාවිච්චි වෙන්න. යතුකැට, නගුල්, වියගස් වගේ හැම දේම කාලෙත් එක්ක වෙනස් වෙලා කල් ඉකුත් වෙනවා නේ ද කියලා හිතුනා. තව උකුණු ගහ වගේ අපි නොදන්න තව කීයක් දේවල් ඇති ද කියලා මතක් උනා, කොච්චර නම් වටින දේවල් කාලෙත් එක්ක අපෙන් ඈත් වෙනවද, මගහැරෙනවද කියලා දැනුනා.
අවස්ථාවක් හම්බවෙන හැම වෙලාවකම ජීවිතේ පුලුවන් තරම් උසස් මිනිස්සු ආශ්‍රය කරන්න උත්සහ කරන්න, පෝසත් මිනිස්සු නෙමෙයි, උසස් මිනිස්සු. මේ අන්කල් ගොඩක් තැන් වලදී කිව්වා " මම නම් වැඩිය ඉගෙන ගෙන නෑ පුතා " කියලා. ඒත් මට දැනට ජීවිතේ මුනගැහුන ඉගෙන ගෙන ලොකු මිනිස්සු කියලා හිතන් ඉන්න ඇතුලෙන් හිස් බහුතරේකට වඩා ගැඹුරක් මේ සුන්දර මනුස්සයා ලඟ දැක්කා.
සමහර BMW, ටයි කෝට්, AC කාමර වලට වඩා පරන ත්‍රී වීල් එක්ක වැඩට යන, දිරපු ඇඳුමක් වැඩට අඳින, කර ගැට පිරුන අත් තියන, ලෝබ නැතුව කට පුරා හිනාවෙන මේ සුන්දර මිනිස්සු ජීවිතේ දිනලා ඉන්නේ කියලා ඇස් දෙකෙන් දැක්කා. ඉතින් අද හවස ගෙදරින් යද්දී පුරුදු විදිහට හිනා වෙලා "ආයි වැඩක් තිබුනොත් එන්නම් පුතා, බුදුසරණයි" කියලා අතරින් පතර දිරුම් තියන ත්‍රී වීල් එක පරිස්සමට පාරට දාගෙන යන්න ගියා.
වැඩක් තිබ්බොත් කතා කරලා බලන්න. අංකල් ගේ නම අශෝක - 0723500488