04/07/2025
Microsoft AI වෛද්‍යවරුන්ට වඩා 4x සාර්ථක කෘත්‍රිම බුද්ධියක් නිපදවයි 🤖
රෝග විනිශ්චයන් නිවැරදිව ලබාදීමට කෘත්‍රිම බුද්ධියට (AI) කොතරම් ප්‍රබල හැකියාවක් තිබෙනවාද යන්න Microsoft AI කණ්ඩායම විසින් මෑතකදී තම AI පද්ධතියක් ඇසුරින් සිදු කරන ලද පර්යේෂණයක් මඟින් හෙලිවී තිබෙනවා.
🎯 ප්‍රධානතම සොයාගැනීම කෙටියෙන්:
» Microsoft AI Diagnostic Orchestrator (MAI-DxO) නම් ඔවුන්ගේ AI පද්ධතිය, The New England Journal of Medicine (NEJM) හි සතිපතා ප්‍රකාශයට පත් වන සංකීර්ණ සායනික රෝග ඉතිහාස වලින් 85%ක් නිවැරදිව රෝග විනිශ්චය සොයා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඔවුන් කියන අන්දමට අත්දැකීම් වලින් පරිපූර්ණ වෛද්‍යවරුන් කණ්ඩායමකට වඩා 4 ගුණයකට වැඩි සාර්ථකත්වයක් සහ අඩු සේවා පිරිවැයක් මෙම AI පද්ධතිය පෙන්වලා තිබෙනවාලු!
🏥 වෛද්‍ය ක්ෂේත්‍රයට මේ සොයාගැනීමේ ඇති වැදගත්කම මොකද්ද?
දැනට ඇති ගැටලු:
» සෞඛ්‍ය සේවා සඳහා ඇති අධික ඉල්ලුම සහ මානව සම්පත් වල සීමිතබව
» වැඩිවන සෞඛ්‍ය සේවා පිරිවැය
» නිවැරදි සහ ඉක්මණින් රෝග විනිශ්චය සොයා ගැනීමට ඇති දුෂ්කරතාවය
🤖 AI සහාය භාවිතයෙන් මෙම ගැටලු විසඳන්න පුලුවන්ද?
» Microsoft හි AI නිෂ්පාදන (Bing, Copilot) හරහා දිනකට සෞඛ්‍ය සම්බන්ධ සංවාද මිලියන 50කට වැඩි ප්‍රමාණයක් සිදු වන බව වාර්තා වෙනවා. මෙයින් පෙන්වන්නේ මිනිසුන් දැනටමත් AI පද්ධති, වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට භාවිතා කරන බවයි.
🔬 AI පද්ධතිය පර්යේෂණයට ලක් කළ ක්‍රමවේදය මොකද්ද?
» සාම්ප්‍රදායික ප්‍රවේශයේදී සිදු කෙරෙන්නේ USMLE වැනි MCQ ප්‍රශ්න (වෛද්‍යවරුන්ගේ දැනුම පරික්ෂා කිරීමට භාවිතා කරන සම්මත විභාග ප්‍රශ්න) භාවිතා කිරීමයි. නමුත් AI පද්ධති මේවාට දැනටමත් 100% ආසන්නව ලකුණු ලබනවා. මෙහි ගැටලුව උනේ, මේවා වෛද්‍යවරයෙකු විසින් සැබෑ ලෝකයේ වෛද්‍ය තීරණ ගැනීම පිළිඹිබු නොකිරීමයි.
» මෙම පර්යේෂණයෙදී භාවිතා වූ නව ප්‍රවේශය (Sequential Diagnosis) ක්‍රමයේදී NEJM ජර්නලයෙන් ලබාගත් සැබෑ රෝගීන්ගේ සායනික ඉතිහාස 304ක් භාවිතයෙන් AI පද්ධතියේ සායනික තර්කන හැකියාව පරීක්ෂා කෙරුනා. මෙහිදී රෝගියාගේ මුල් රෝග ලක්ෂණ විශ්ලේෂණය → ප්‍රශ්න ඇසීම → පරීක්ෂණ → අවසාන රෝග විනිශ්චය යන ගැලීම් සටහන ඔස්සේ පද්ධතිය ක්‍රියා කරනවා. මෙම පද්ධතිය වෛද්‍යවරු කණ්ඩායමක් විදියට ක්‍රියා කරමින් සෑම පියවරකදීම තර්කනය පරික්ෂා කරමින්, ආරක්ෂාව, විනිවිදභාවය සහ විශ්වසනීයත්වය සහතික කරනවා.
📊 ප්‍රතිඵල කොහොමද?
🤖 AI පද්ධතිය (MAI-DxO + OpenAI o3): 85.5% නිවැරදිව රෝග විනිශ්චය ලබාදුනි. MAI-DxO අඩු පරීක්ෂණ පිරිවැයකින් වැඩි නිරවද්‍යතාවයක් ලබා දෙන අතරම අනවශ්‍ය පරීක්ෂණ ඇණවුම් කිරීම වළක්වයි.
👨⚕️ මිනිස් වෛද්‍යවරු කණ්ඩායම (වසර 5-20 අතර සායනික අත්දැකීම් ඇති 21 දෙනෙක්): 20% නිවැරදිව රෝග විනිශ්චයන් ලබාදුනි.
🚀 AI සමඟ අනාගතය කෙසේ වේවිද?
AI සමඟ වෛද්‍යවරුන්ට:
» සාමාන්‍ය දෛනික කාර්යයන් (routine repetitive tasks) ස්වයංක්‍රීය කිරීම (automation)
» පුළුල්, ගැඹුරු, යාවත්කාලීන දැනුම (wide, in detail, updated knowledge) වෛද්‍යවරුන්ට ලබාදීම
» සායනික තීරණ ගැනීම සඳහා සහාය (clinical decision support) ලබා දීම
» රෝග කලින් හඳුනා ගැනීම (early diagnosis)
» පුද්ගලික ප්‍රතිකාර සැලසුම් සකස් කිරීම (personalized treatment plans)
» රෝග වැලැක්වීමට හැකියාව (prevention of diseases)
» රෝගීන්ට පුද්ගලික සෞඛ්‍ය කළමනාකරණයට සහාය වීම
» සෞඛ්‍ය පිරිවැය අඩු කිරීම
සීමාවන්:
» සාමාන්‍ය, දෛනික රෝග සඳහා තවමත් පරීක්ෂණ අවශ්‍යයි
» සැබෑ සායනික පරිසරයේ පරික්ෂා කිරීම අවශ්‍යයි
» නිසි නීතිමය පාලන සහ නියාමන රාමු අවශ්‍යයි
අනාගතයේදි AI පද්ධති විසින් වෛද්‍යවරුන් replace කරයිද?
මෙම පර්යේෂකයන්ට අනුව නම් නැහැ! 🚫
AI පද්ධති, වෛද්‍යවරුන්ට සායනික කටයුතු සඳහා සහාය වන මෙවලමක් මිස ප්‍රතිස්ථාපනයක් නොවේ. වෛද්‍යවරයෙකුගේ කාර්යභාරය රෝග විනිශ්චය සොයා ගැනීමෙන් අවසන් වන්නේ නෑ.
AI තාක්ෂණය අපගේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවයක් කරන්නට සූදානම් බවයි මේ පර්යේෂණයට අපිට පෙන්වන්නේ. නමුත්, කිසිම තාක්ෂණයකට වෛද්‍යවරයෙකුගේ මානුෂික ස්පර්ශය, සානුකම්පිත හදවත සහ රෝගියා සමඟ ගොඩනගන්නා සබඳතාවය (doctor-patient relationship) ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව සෑම විටම මතක තබා ගත යුතුයි.
පසු සටහන: මෙම AI පද්ධතිය තවමත් පර්යේෂණ අදියරයේ පවතින අතර සායනික භාවිතය සඳහා අනුමැතිය ලබා නොමැත.
මෙම පර්යේෂණය ගැන ඔයාලගේ අදහස් මොනවාද? අපි කතා කරමු.
අනිත් අයට දැනගන්න share කරලා බෙදා ගන්න.
මූලාශ්‍රය: http://microsoft.ai/new/the-path-to-medical-superintelligence/
වෛද්‍ය සහ තාක්ෂණික ප්‍රවණතා පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට Dr Chandima 👨🏻⚕️ පිටුව follow කරන්න.
වෛද්‍ය චන්දිම ජයසිංහ [03-07-2025]