15/08/2025
සමස්ථයක් ලෙස ගත් කළ මද්‍යසාර - මත්ද්‍රව්‍ය කියන්නෙම සම්පූර්ණ රැවටීමක් තමා. නමුත් එවැනි රැවටීමක ජීවත් වෙන මිනිස්සුන්ට මෙය පැහැදිලි කර ඒත්තු ගැන්වීම ඉතාමත් අභියෝගාත්මක ක්‍රියාවලියකි. එමෙන්ම මද්‍යසාර-මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ නැංවීම සඳහා පුද්ගලයින් රැවටීමේ ක්‍රියාවලියද ඈත අතීතයේ සිට ක්‍රියාත්මක වූ අතර එය අදටත් අඩු වැඩි වශයෙන් ඒ ආකාරයෙන්ම පවතී. මෙම ක්‍රියාවලිය නැවත්වීම සඳහා බොහෝවිට සිදුවන්නේ එම රැවටීමේ ක්‍රියාවලියට අභියෝග නොකර මද්‍යසාර - මත්ද්‍රව්‍ය වලින් සිදුවන හානිය පෙන්වාදීම පමණි.
මද්‍යසාර - මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන හානිය පෙන්වාදීම සිදුවන්නේ, පුද්ගලයා තුළ සෞඛ්‍ය, ආර්ථික, සමාජීය හා මානසික වශයෙන් සිදුවන හානිය පමණකි. නමුත් මෙම හානිදායක දෑ පිළිබඳව තරුණයින් සහ ළමුන් සඳහා සංවේදී නොවේ. “බිව්වම කට ගඳ ගහනවා, කෙල්ලෙක් ළඟට එන්නවත් කැමති නෑ”, “ලිංගික අප්‍රාණිකත්වය ඇතිවෙනවා, ඊට පස්සෙ වැඩක් නෑ.” වැනි පණිවිඩ පමණක් ඔවුන්ව වෙනස් කිරීමට බලපෑ හැකි නමුත්, දීර්ඝ කාලීනව ඇතිවිය හැකි ලෙඩරෝග, පිළිකා මෙන්ම ඒ නිසා සිදුවන මරණය පිළිබඳව වැඩිහිටි ප්‍රජාව මෙන් තරුණයින් ඔවුන් සංවේදී නැත.
මද්‍යසාර - මත්ද්‍රව්‍ය භාවිතයට හසුකර ගැනීමේ තවත් රැවටිලිකාරී දේවල්:
"මද්‍යසාර - මත්ද්‍රව්‍ය භාවිතයෙන් සතුටක් ලැබෙනවා", "පාටියක් නම් බොන්න තියෙන්නම ඕන", "කරන - කියන දේ තේරෙන්නෑ බිව්වට පස්සේ", “කොල්ලෙක් වුණහම බොන්නෙ ඕන” කියලා වගේ හදලා තියෙන මතයන්
විශාල ජනතාවකගේ ආදරය ගෞරවය දිනාගත් නළුවන්, ක්‍රීඩකයින්, ජනප්‍රිය පුද්ගලයින් වැනි අයද මෙම ද්‍රව්‍ය භාවිත කරනවා යනුවෙන් දැන්වීම්
සමාජයේ සියළු දෙනාගේම ඉල්ලීම මෙයයි
ආදී තවත් බොහෝ මද්‍යසාර - මත්ද්‍රව්‍ය භාවිතයට හසුකර ගැනීමේ රැවටිලිකාරී දේවල් ද පවතී.
මීට අමතරව "බිව්වම ප්‍රශ්න අමතක වෙනවා, මහන්සිය නැති වෙනවා, පරණ දේවල් මතක් වෙනවා" වැනි බොරු විශ්වාස මනසට කාවද්දන්නත් මේ සමාජ මාධ්‍ය ප්‍රමුඛ ප්‍රචාරණ ක්‍රම බහුලව භාවිත කෙරෙනවා. නමුත් බීලා අමතක කරගත්ත එක ප්‍රශ්නයක්වත් නැති බවත්, බීපු වෙලාවට කියවන්නෙත් ඒ ප්‍රශ්නම බවත්, මහන්සිය අඩු වෙන්න කියලා බීපු අය පහුවදා වැඩට එන්නෙ නොබීපු අයටත් වඩා අමාරුවෙන් බවත්, බිව්වම පරණ ඒවා මතක් වෙනවා කිව්වට විභාගෙට බීලා ගියොත් හරි නොයන බවත් තේරුණත්, මේ වගේ කතා වලට රැවටීම හැමදාම සිදුවෙනවා.