07/06/2026
පැසිෆික් සාගර කලාපයේ ඇති වෙමින් පවතින එල්නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකය පුරා දැඩි කාලගුණික විපර්යාසයන් ඇති විය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු අඟවනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශගුණික ඒජන්සිය පෙන්වා දෙන්නේ මේ හරහා අධික උෂ්ණත්වය, නියඟය සහ ගංවතුර වැනි දරුණු තත්ත්වයන් රැසක් ලෝකවාසී ජනතාවට අත්විඳීමට සිදුවන බවයි.
ගෝලීය උණුසුම ඉහළ යාම කෙරෙහි සෘජුවම බලපාන මෙම තත්ත්වය හමුවේ ලෝක ප්‍රජාව දැඩි අවධානයකින් පසුවිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ද අවධාරණය කර සිටිනවා.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම දේශගුණික විපර්යාසය හටගන්නා බවයි.
මේ වසරේ ජූනි සහ අගෝස්තු මාස අතර කාලය තුළ එල් නිනෝ තත්ත්වයක් වර්ධනය වීමට සියයට අසූවක හැකියාවක් පවතින අතර ලබන නොවැම්බර් මාසය වන විට එය සියයට අනූවක් දක්වා තහවුරු විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.
සාමාන්‍යයෙන් වසර දෙකත් හතත් අතර කාලයකදී වරක් හටගන්නා මෙම ස්වභාවික සංසිද්ධිය මාස නවයේ සිට දොළහ දක්වා කාලයක් සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යාඥයන් පවසනවා. මෙවර ඇති වන එල් නිනෝ තත්ත්වය මධ්‍යස්ථ හෝ ඉතා ප්‍රබල මට්ටමකින් බලපෑ හැකි බවත්, එහි ප්‍රතිඵල ඉතා වේගයෙන් රටවල් පුරා ව්‍යාප්ත විය හැකි බවත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කරනවා.
මෙම දේශගුණික විපර්යාසය හේතුවෙන් දකුණු ඇමරිකාව, එක්සත් ජනපදය සහ මධ්‍යම ආසියාව වැනි කලාපවලට අධික වර්ෂාපතනයක් ලැබිය හැකි අතර ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ කොටස් වෙත දැඩි නියඟයක් ඇති විය හැකි බව වාර්තා වනවා.
මීට අමතරව ලැව්ගිනි අවදානම ඉහළ යාම, මදුරුවන් වැනි වාහකයන් මගින් බෝවන රෝග පැතිරීම මෙන්ම ආහාර හා ජල හිඟය වැනි බහුවිධ ගැටලු රැසකට ලෝක වැසියන්ට මුහුණ දීමට සිදුවන බව ද දේශගුණික වාර්තා සනාථ කරනවා.
ගෝලීය ආර්ථික අර්බුද මධ්‍යයේ එල් නිනෝ බලපෑම නිසා ලෝක වෙළඳපොළේ කෘෂිකාර්මික නිෂ්පාදන අඩාල වී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ගෝලීය උණුසුම තවදුරටත් තීව්‍ර කරන මෙවැනි තත්ත්වයන්ගෙන් මිදීම සඳහා පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්ව පුනර්ජනනීය බලශක්තිය වෙත කඩිනමින් යොමුවීමේ අවශ්‍යතාව ද ලෝක නායකයන් මෙහිදී පෙන්වා දෙනවා.