24/04/2026
අද මල ගෙදරක ගියා. අවුරුදු 27 ක කොල්ලෙක්. කොල්ලා නැති වෙලා තියන්නෙ වහබීලා. දැන් බැලූ බැල්මට හිතන්න පුළුවන් ලව් කේස් එකක් කියලා. එහෙමනෙ මේ වයසෙ කොල්ලෙක් කෙල්ලෙක් සියදිවි හානිකර ගත්තම හිතන්න පුරුදු වෙල තියන්නෙ.
මේ එහෙම කතන්දරයක් නෙවෙයි. හතර දෙනෙක් ඉන්න ගෙදර හම්බ කරන්නෙ මෙයා විතරයි. තාත්තා අසනීපෙන්. නංගි උසස් පෙළ කරනවා. අම්මා තමයි ගෙදර වැඩ බලන්නෙ.
නංගි වයසට වඩා ෆැෂනබල්. කඩකෑමට රුසියෙක්. තාත්තගෙ බෙහෙත් වලට වියදම් සහ ගෙදර හැම වියදමක්ම කොල්ලා තමයි දරන්නෙ. කොල්ලා බ්ලොක් ගල් වැඩපලක බ්ලොක් ගල් ගහලා තමයි සල්ලි හම්බ කරන්නෙ. ඒකත් මහලොකු පඩියකට නෙවෙයි.
අම්මගෙ වැඩේ කොල්ලගෙන් සල්ලි ඉල්ලන එක. අරක ගේන්න මේක ගේන්න කියකිය සල්ලි ඉල්ලන එක. පුළුවන් හැම වෙලාවකම සල්ලි දුන්නත් බැරි වෙන වෙලාවට කට කැඩිච්ච කතා කියනවලු. නංගිත් කරන්නෙ ඒවට උල්පන්දම් දෙන එකලු.
අන්තිමට ඩෙනිමක් ගත්ත දවසක්, අන්තිමට කොත්තුවක් කාපු දවසක් කොල්ලට මතක තිබිලා නෑ. කරන හරියක් කරලා තියන්නෙ ගෙදරටමලු. කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ආසාව තිබුණත් ගෙදර ප්‍රශ්න නිසා තනියම ඉන්න තීරණය කරලා.
මේ සිදුවීමට අදාල ආසන්නම සිද්ධිය තමයි, කොල්ලට මේ ළඟදි දවසක උණ හැදිලා. අමාරු වැඩි කමටම දවස් දෙකක් නිවාඩු දාලා. ඒ වෙනකන් පැනඩෝල් පෙත්තක්වත් නොදීපු අම්මා කිව්වලු " ගල් උස්සන්න බැරිනම් පාරෙ හිඟා කාලා හරි සල්ලි කීයක් හරි හොයන් වරෙන් කියලා "
කොල්ලට ඇඬෙන්න ආවත් ඇඬිලා නෑ. ආපිට අම්මට වචනයක් වත් නොකියා කොල්ලා තාත්තාගෙ ඔලුව අතගාලා ගෙදරින් යන්න ගිහින්. ඒ ගියපු කොල්ලා ආපහු ගෙදර එන්නෙ පන පිටින් නෙවෙයි. පීඩනය දරාගන්න බැරිකමට කොල්ලා වහබීලා.
බැලූ බැල්මට මෝඩ වැඩක් කියලා කවුරු කොහොම කිව්වත්, ඕනම මනුස්සයෙක්ට දරාගැනීමේ සීමාව පැන්නම ජීවිතේ මේ තැනට තල්ලු වෙනවා.
ජීවිතය තුළ රැඳෙන්න තරම් එකම එක හේතුවක් වත් නැත්නම් ඒ මනුස්සයට මීට වඩා හොඳ තීරණයක් නැතුව යනවා.
ප්‍රශ්නෙ තමන්ගෙ නොවන තාක් මිනිස්සුන්ට කතා කියන්න පුළුවන්. ඒත් මනුස්සයෙක් විදියට අපි කරන්න ඕන ගෙවෙන හැම තත්පරයකම අනිත් පාර්ශවය ගැන හිතන එක.
මිනිස්සු නොදන්න, තමන් විතරක්ම දන්න, හරිම අසාධාරණ කතා ගොඩක් සමහර හිත් අස්සෙ හැංගිලා තියෙනවා. එහෙම කතන්දර මේ විදියට අවසන් වෙලා යනවා.
අවසානෙට ලියුම කියවපු මට හිතුණෙ උඹට මේක ලියලා ඉවර වෙලා කොහේහරි නොදන්න ඈත ගමකට ගිහින් පාඩුවෙ ජීවත් වෙන්න තිබුණා කියලා. ඒත් ඒ හැමදේකටම කලින් උඹ ඉස්සර වෙලා.. 💔
- රජිත ලසන්ත -