News UK

News UK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News UK, Kandy.

මහනුවර ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය වූ නගරයයි. 1815 දී බ්‍රිතාන්‍යයන්ට යටත් විය. ශ්‍රී දළදා මාලිගාව නිසා ලෝක උරුමයක්. ඉසල පෙරහැරින් ජනප්‍රියයි. මාලිගා උයන, බෝගොඹර වැව වැනි ඉතිහාසමය ස්ථාන ඇත. අද අධ්‍යාපන, සංස්කෘතික හා සංචාරක මධ්‍යස්ථානයක්.

මේ බස් නැවතුම කාලාන්තරයක් පෙම්වතුන්ගේ ප්‍රේමයදකින්න ඇති.ප්‍රේමයේ විරහව විදින්න ඇති.එක් වීම් වෙන් වීම් දකින්න ඇති... කහ ම...
09/03/2024

මේ බස් නැවතුම කාලාන්තරයක් පෙම්වතුන්ගේ ප්‍රේමය
දකින්න ඇති.
ප්‍රේමයේ විරහව විදින්න ඇති.
එක් වීම් වෙන් වීම් දකින්න ඇති...
කහ මල් වැටුම ලස්සන දකින්න ඇති. ඒ මල් තැලී වියලී පරවී යන බව දකින්න ඇති...
බස් නැවතුම කියා දුන්නේ... ලොව සත්‍ය නොවේද ?
🌸🌼
ගන්නෝරුව FaceBook පිටුව ✍

07/06/2021

සුන්දර මහනුවර දළදාහිමි අබිය මාගේ සිත නිවේවා

්‍රි ලාංකේය ඉතිහාස වංශ කථාවේ සුවිශේෂි කලාපයක් ලෙසින් මහනුවර, මාතලේ හා නුවරඑළිය කේන්ද්‍ර කොට ගත් මධ්‍යම පළාත හැදින්විය හැ...
06/06/2021

්‍රි ලාංකේය ඉතිහාස වංශ කථාවේ සුවිශේෂි කලාපයක් ලෙසින් මහනුවර, මාතලේ හා නුවරඑළිය කේන්ද්‍ර කොට ගත් මධ්‍යම පළාත හැදින්විය හැකි වේ. මෙම පෙදෙසේ පිළිබඳ ඓතිහාසික තතු ක‍්‍රි.පූ. සමය තෙක් අතීතයට දිවෙන බවට සාක්ෂි හමුවේ. බොහෝ ඉතිහාස රචකයින් එහි ඉතිහාසය රාවණා යුගය තෙක් දිවෙන බව ඉතිහාසඥයින් විසින් පෙන්වා දෙන අතර ඒ සඳහා ජනප‍්‍රවාද තොරතුරු සාක්ෂි ලෙස ගෙනහැර දක්වා ඇත. එමෙන්ම රාවනා යුගයේදී ද මෙම ප‍්‍රදේශය මලය (රට) යනුවෙන් හඳුන්වා ඇති බවත් පසුව වරින් වර යක්ෂ, රාක්ෂ, දේව, නාග යන ගෝත‍්‍රිකයින් මෙහි වාසය කර ඇති බවත් ජනප‍්‍රවාද අනුව පැහැදිලි වන බව ද තවදුරටත් පෙන්වා දී තිබේ. මෙම අවධියේදී වැඩිපුරම වාසය කර ඇත්තේ රාක්ෂ සහ යක්ෂ ගෝත‍්‍රිකයින් බව දැක්වෙන අතර මෙහි වාසය කළ පිරිස් මහාවංසයේ සඳහන් වන පුලින්දයින් කුවේණියගෙන් පැවත එන්නන් ලෙස හඳුන්වා ඇත. තව ද ක‍්‍රි. පූ. සමයේ සිට මැදරට (මහනුවර හා අවට) ජනාවාස පැවති බවට සාධක අභිලේඛන මගින් අනාවරණය වේ. බඹරගල, හාරගම, දූල්වල, වේගිරිය, මොලගොඩ, යාන්ලෙන, ගලබාව හා ගෝනවත්ත වැනි ස්ථානවලින් හමු වී ඇති බ‍්‍රාහ්මි අභලේඛන මේ සඳහා සාක්ෂි වේ.



මේ අනුව ශ‍්‍රී ලාංකේය ඉතිහාසයෙහි ඉතා පැරණි අවධියකට උරුමකම් කියන මහනුවර ප‍්‍රදේශය ඇතුළත් මැදරට (මධ්‍ය කඳුකරය) ප‍්‍රදේශය අනුරාධපුර යුගයේදී කඳුරට යන අර්ථයෙන් ”මලය දේශය”, ”මලය මණ්ඩලය”, ”මලයරට,” ”මලයාණ්ඩු” ආදී නම්වලින් හඳුන්වා තිබෙනු දැකිය හැකිය. තව ද ප‍්‍රාග් අනුරාධපුර යුගයේදී සමස්ත ශ‍්‍රී ලංකාව උත්තර දේශය හා රෝහණය යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදී තිබුන අතර එම බෙදීම තුළ මධ්‍ය කඳුකරය වන ගිරිමණ්ඩලය (මලය දේශය) උත්තර දේශයට වඩා රෝහණ දේශයට කිට්ටු සම්බන්ධතාවක් පැවති බව පෙනී යන්නේ ය.



kandyan kingdom flagරජරට, දක්ඛිණ දේශය, රෝහණ දේශය හා මේරුකන්දර (මලය රට) යනුවෙන් සමස්ත ශ‍්‍රී ලංකාව කොටස් හතරකට බෙදී තිබුන අතර මේරුකන්දර දේශය හෙවත් මලය රටට මධ්‍ය කඳුකර ප‍්‍රදේශය අයත් විය. මහවැලි නදිය ආධාර කොට ගෙන මලය දේශය උත්තර මලය හා දක්ඛිණ මලය ලෙස කොටස් දෙකකට බෙදී පැවතුන අතර අනුරාධපුර මධ්‍යම රජය යටතේ උත්තරමලය දේශය ප‍්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් පැවතිණි. එමෙන්ම පළමුවන පරාක‍්‍රමබාහු සමයේදී (පොළොන්නරු යුගයේදී) මලය දේශය දක්ඛිණ දේශයට එකතු කිරීමෙන් පසුව තත් ප‍්‍රදේශයන් දෙකම ”මලය” යන නමින් හඳින් වූ බව පෙනේ.



king rajasinha iiක‍්‍රි.ව. හයවන සියවසේ සිට එකොළොස්වන සියවස දක්වා කාලයේදී මලය ප‍්‍රදේශය මලය රාජ නැමැති කුමාරයෙකු යටතේ පාලනය වූ බව දක්නට ලැබෙතත් එය වෙනම රාජධානියක් වශයෙන් නොපැවතුන අතර අනුරාධපුර හා පොළොන්නරු පාලකයින් යටතේම පැවතී ඇත. අනුරාධපුර හා පොළොන්නරු යුගයන්ට වඩා නිරිතදිග රාජධානි වෙත පාලන කේන්ද්‍රස්ථාන මාරුවීමෙන් පසු කන්ද උඩරට ප‍්‍රදේශය වැදගත් කලාපයක් ලෙසින් ඉදිරියට ඒමක් දැකගත හැකිය. පොළොන්නරු රාජධානිය කාලිංග මාඝ ආක‍්‍රමණ හේතුවෙන් බිඳ වැටීමට ලක්වන විට එම ප‍්‍රදේශයේ ජනතාවගෙන් ඇතැම් පිරිස් මලය දේශයට සංක‍්‍රමණය වීමත් සමඟ මලය දේශයේ ජනඝනත්වය ක‍්‍රමයෙන් වර්ධනය වූ අතර දාහතරවන ශතවර්ෂය වන විට වර්තමාන මධ්‍යම පළාත ද ඇතුළත් මලය රට දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදි. කුරුණෑගල රාජධානියේ පරිහානියත් සමඟ ගම්පොළට හතරවන භුවනෙකබාහු සිය රාජධානි කේන්ද්‍රස්ථානය මාරු කරනුයේ ද ඉන් පසු පාලකයින් කිහිප දෙනෙකුම එහි සිට සිය පාලනය ගෙන යනවා පමණක් නොව දළදා වහන්සේ ද එහි වැඩම කරවීමට කටයුතු යෙදීම තුළ මෙම ප‍්‍රවනතාවයේ වැදගත්කම නිර්ණය කළ හැකි බව ඉතිහාසඥයන් විසින් පෙන්වා දී ඇත.

ස්වභාවික රැකවණ සහිත ස්ථානයක් වීම සෑම සතුරු උවදුරු ඇති වු අවස්ථාවකම රාජධානි පාලකයාට රැකවරණ සැලසු පදෙසක් මෙන්ම එම පාලකයින්ට ස්නා සංවිධානය කර දෙමින් ශී‍්‍ර ලාංකාවේ නිදහස රැක ගැනීමට සෑම අවස්ථාවකම මධ්‍යම පළාත ප‍්‍රමුඛ කොට ගත් කදුකරයේ ජනයා සහ ජන නායකයින් ඉදිරි පත් වු බව පොළොන්නරු යුගයෙන් පසු උදාවන නිරිතදිග රාජධානි අවධියෙහි මැදරට පිළිබඳව අවධානය යොමු කිරීමේදී දඹදෙණි යුගයේදීත්, ඉන් පසු කුරුණෑගල යුගයේදීත් ගම්පොළ සමයේදීත්, පෙර පරිදිම ආරක්ෂිත කලාපයක් වශයෙන් පැවති අතර සතුරු පීඩාවන් නිසා ගම්පොළ ආරක්ෂා රහිත වූයෙන් ගම්පොළ ප‍්‍රධාන පාලන මධ්‍යස්ථානය පේරාදෙණියට ගෙන ගිය බව සඳහන් වේ. ඉන් පසුව සේනාසම්මත වික‍්‍රමබාහු විසින් ක‍්‍රි.ව. 1480 දී සෙංකඩගල සිය අගනගරය බවට පත් කරගන්නා ලද අතර පසුව කන්ද උඩරට රාජධානියෙහි අගනුවර වූ සෙංකඩගල පුරවරයේ උපත මෙලෙසින් සිදුවේ. රාජධානි කේන්ද්‍රය ස්වභාවික රැකවරණය පමණක්ම නොව එහි ජීවත් වු වැසියාගේ කි‍්‍රයාකාලාපය ද හේතු වු බව පැහැදිලි වේ.



කෝට්ටේ යුගයෙහිදී හයවන පරාක‍්‍රමබාහු රජු යටතේ දිවයිනේ දේශපාලන එක්සත් බවක් ඇති වන විට මධ්‍ය කඳුකර ප‍්‍රදේශය ද කෝට්ටේ රාජ්‍ය යටතේ පැවතිනි. කෝට්ටේ හයවන පැරකුම් රජුගෙන් පසු කන්ද උඩරට ස්වාධීනත්වය සඳහා ක‍්‍රියාත්මක වූ බවට ගඩලාදෙණිය සෙල්ලිපිය සාක්ෂි සපයයි. මේ සඳහා මූලික වූයේ කන්ද උඩරට ස්වාධීනත්වය පතමින් සිටි සේනාසම්මත වික‍්‍රමබාහු රජුය. මේ අනුව කෝට්ටේ ඇති වූ අභ්‍යන්තර අරගල හමුවේ හයවන පැරකුම් රජු බිහිකළ එක්සත් ශ‍්‍රී ලංකාව තුළ ”සෙංකඩගල රාජ්‍යය” නමින් තවත් ස්වතන්ත‍්‍ර රාජ්‍යයක් මෙම යුගයේ දී (නිරිත දිග රාජධානි සමයේ දී) බිහිවිණි. ක‍්‍රි.ව. 1477-1478 කාලපරිච්ඡේදය වන විට ශ‍්‍රි ලංකාව ප‍්‍රධාන වශයෙන් කෝට්ටේ, සෙංකඩගල, හා යාපනේ යනුවෙන් දේශපාලන මධ්‍යස්ථාන ත‍්‍රිත්වයක් යටතේ ක‍්‍රියාත්මක විය. මෙම කරුණු අනුව මුලින් මලය දේශය ලෙස ඉදිරියට ආ කන්ද උඩරට ප‍්‍රදේශය නිරිතදිග රාජධානි සමය වන විට ලංකාවේ ප‍්‍රධාන රාජ්‍ය ත‍්‍රිත්වය අතර එකක් බවට පත් වූ බව පැහැදිලි වේ.
ක‍්‍රි.ව. 1500න් පසු පෘතුගීසීන් මෙරට මුහුදුබඩ සිටි කාලපරිච්ඡේදය ශ‍්‍රී ලාංකේය ඉතිහාසයේ මධ්‍ය පළාත ප‍්‍රමුඛ කොට ගත් උඩරට රාජධානිය හා එහි වැසියා ශී‍්‍ර ලංකාවේ නිදහස වෙනුවෙන් නැගීසිටිමේ කාලපරිච්ජේදය ලෙස දැක්විය හැකි වන්නේ ය. මහවැලි ගඟින් තුන් පැත්තකින් හා හන්තානේ කඳුවැටියෙන්ද සීමා වූ ස්වභාවික ආරක්ෂාවෙන් යුතු සෙංකඩගල මධ්‍යස්ථානය කරගත් කන්ද උඩරට රාජ්‍යය මේ අවධියේ එතරම්ම දියුණු තත්ත්වයක් නොපෙන්වූ බව පෙනේ. මෙම අවධියේ දී උඩරටට අයත් ප‍්‍රදේශ වූයේ උඩුනුවර, යටිනුවර, දුම්බර, හාරිස්පත්තුව හා හේවාහැට යන ප‍්‍රධාන මධ්‍යස්ථානයන්ය. එමෙන්ම මාතලේ, ඌව, කොත්මලේ ආදී ප‍්‍රදේශයන් ද සත් කෝරළය, සතර කෝරළය, තුන් කෝරළය, සබරගමුව යන ප‍්‍රදේශයන්ගේ කොටස් ද කන්ද උඩරටට අයත් විය.



king Vimaladharmasuriya Iමෙම අවධිය තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන රාජ්‍යය වූ කෝටටේ රාජ්‍යය තුළ ක‍්‍රි.ව. 1521 දී ඇති වූ දේශපාලන බල අරගලයේ ප‍්‍රථිඵලයක් වශයෙන් වැඞී ආ සීතාවක රාජ්‍යයට ක‍්‍රි.ව. 1582 පමණ වන විට සෙංකඩගල රාජ්‍යය අයත් වූ අතර ලංකාවේ බටහිර බිම් තීරුව හා උතුරේ ද්‍රවිඩ රාජ්‍යය හැර සමස්ත ලංකාවම මෙහිදී සීතාවකට අයත් විය.ඒ අනුව මධ්‍ය කඳුකර ප‍්‍රදේශය ස්වාධීන රාජධානියක් වශයෙන් තිබූ තත්ත්වය හා අයත් වූ ප‍්‍රාදේශීය සීමාවන් මේ සමඟ වෙනස් වූ බව පෙනී යන්නේ ය.



ක‍්‍රි.ව. 1592දී දොන් ජුවන් හෙවත් කොනප්පු බණ්ඩාර පෘතුගීසීන්ට විරුද්ධව සිදුකළ දන්තුරේ සටනින් පසු දෝනකතිරිනාව සිය බිසව බවට පත්කර ගෙන විමලධර්මසූරිය නමින් උඩරට රජ බවට පත්වීමත් සමඟ කන්ද උඩරට රාජධානිය ආරම්භ විය. ඒ අනුව කෝට්ටේ හා සිතාවක රාජධානිවලින් නිදහස් වූ ස්වාධීන බලවත් රාජ්‍යයක් ලෙස කන්ද උඩරට රාජධානිය ඉදිරියට එන අතර සෙංකඩගලපුරය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනුයේ මොහු විසිනි. මේ අනුව මහනුවර රාජ්‍යය ක‍්‍රියාත්මක වූ කාලපරිච්ඡේදය ලෙස ක‍්‍රි.ව. 1593 - 1815 දක්වා කාලය දැක්වේ.



මෙම කාල පරිච්ජේදය තුල උඩරට රාජධානිය පාලනය කළ රජවරුන් පහත පරිදි වේ.

රජතුමා කාල පරිච්ජේදය
පළමු වන විමලධර්මසූරිය රජතුමා 1590 - 1604
සෙනරත් රජතුමා 1604 - 1635
දෙවන රාජසිංහ රජතුමා 1635 - 1687
දෙවන විමලධර්මසූරිය රජතුමා 1687 - 1707
ශී‍්‍ර වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා 1707 - 1739
විජයරාජසිංහ රජතුමා 1739 - 1747
කීර්ති ශි‍්‍ර රාජසිංහ රජතුමා 1747 - 1782
රාජාධි රාජසිංහ රජතුමා 1782 - 1798
ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජතුමා 1798 - 1815
king sri vikrama rajasinha1815 දී උඩරට රාජධානිය ප‍්‍රමුඛකොට ගත් සිංහලයන්ගේ බලය පැතිර තිබු ප‍්‍රදේශ බි‍්‍රතාන්‍යයන්ට අයත් වුයේ උඩරට ප‍්‍රධානින් හා බි‍්‍රතාන්‍ය පාලකයින් අතර ඇති වු ගිවිසුමක් මගින් ය. මෙම ගිවිසුමට පෙර උඩරට රජුන් පෘතුගීසින් හා ලන්දේසින්ට විරුද්ධව උඩරට අභිමානය පෙරදැරි කරගනිමින් දන්තුරේ දීත් ගන්නොරුවේදීත් යුරෝපා ජාතීන්ට පෙරදිගදි අත් වු දරුණුතම පරාජයට ලක් කිරීමට සමත් වු බව ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු කරුණකි. ශී‍්‍ර ලංකාය උඩරට ගිවිසුම මගින් බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීමත් සමගින්ම බි‍්‍රතාන්‍යය පාලනයට එල්ල වු පළමු ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ උඩරට බෞද්ධ භික්ෂුවක් වු වාරියපොල ශි‍්‍ර සුමංගල හිමියන් වෙතින්ය. උන්නාන්සේ මහමළවේ ඔසවන ලද බි‍්‍රතාන්‍ය ධජය පහත දමා සිංහ ධජය නැවතත් ඔසවන ලද්දේ උඩරට සිංහල ජනයාගේ උදාරත්වය ලොවටම පෙන්වමින් ය.



kandyan convention (Udarata Givisuma)1815 සිට වසර තුනක් යෑමට මත්තේන් උඩරට සිටි නායකයින් වෙල්ලස්ස මුල් කොට ගන පළමු නිදහස් වෙඩි මුරය මුදා හල අතර එහි මුල් පෙලේ නායකයින් රැසක් මධ්‍යම පළාතෙන් බිහි වීම සුවිශේෂී වේ.මොණරවිල කැප්පටිපොල නිලමේ, හඟුරන්කෙත ඩිංගිරාළ, කොහුකුඹුරේ රටේ රාළ ආදි වු සිංහල නායකයින්ගේ ප‍්‍රකට වන්නේ එදා මැදරට වැසියාගේ වීරත්වයයි. බි‍්‍රතාන්‍යයන්ගේ කුරිරු මර්ධනයට ලක් වු පළමු නිදහසේ නැගී සිටීම වෙඩි බලයට යටපත් කළ හැකි වුව ද උඩරට වැසියාගේ සිත් තුළින් මර්ධනය කිරීමට යටත් විජිත පාලකයින්ගේ වඩි උණ්ඩයට නොහැකි විය. 1848 මාතලේ මුල් කර ගෙන පුරන් අප්පුගේ නායකත්වයෙන් ප‍්‍රකාශයට පත් වු දෙවන නිදහස් අරගලය එදා බි‍්‍රතාන්‍ය පාලකයින් මහත් වු අපහසුතාවයට පත් කිරීමට සමත් විය. මේ අයුරින් 1948 වසරේ බි‍්‍රතාන්‍යයන් වෙතින් මෙරටට නිදහස ලැබීමේ අවස්ථාව දක්වාම ඉතිහාසය තුල මැදරට ජනයා ප‍්‍රමුඛ මධ්‍යම පළාත සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරන ලද පෙනී යන්නේ ය.

උඩරට රාජ්‍යය සමයේ රජුට සිටි රාජ්‍ය නිළධාරීන් හා ඔවුන්ගේ රාජකාරීන් 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ සිංහල රාජ්‍යයේ මහවාසල...
06/06/2021

උඩරට රාජ්‍යය සමයේ රජුට සිටි රාජ්‍ය නිළධාරීන් හා ඔවුන්ගේ රාජකාරීන්
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

සිංහල රාජ්‍යයේ මහවාසල රාජකාරියෙහි නියුක්තව සිටි නිලධාරීන්ට ව්‍යවහාර කළ තනතුරු නාමයන්හි අර්ථ හා ඉටුකළ සේවයෙහි තත්වය පිළිබද වටහා ගැනීම සදහා ඓතිහාසික ලිපි විමසීමෙන් අප අවබෝධ කරගත් කරුණු එපරිද්දෙන්ම මෙහි සඳහන් කරන්නෙමු.

ප්‍රථමයෙන් එකී නාමයන් බිහිවූ අයුරු හෙළි කර සිටින්නෙමු.

🔆 රදල - සිංහල ආණ්ඩුවේ උසස් තනතුරු ලබන ගොවි වංශයේ ප්‍රධානීන්ට රදල යයි ව්‍යවහාර කරන ලදී.රදල යනු රජකුල ශබ්දයෙන් බිඳී ආ නාමයකි.ලිපිවල රදොල් සම් දරුවන් යයි දක්නා ලැබේ. මේ රාජකුල රදොල් රදල යන ශබ්දය රාජවංශික යැයිම නොගැණේ. මෙහි රාජ ශබ්දය ප්‍රධාන යන අර්ථයෙහි වේ.මෙහි රදකුලයන් යයි ව්‍යවහාරය වූයේ ප්‍රධාන කුලයේ ජනයා යන අර්ථයෙනි.සිංහල පරපුර ගොවි වංශය, බ්‍රාහ්මණ, වාණිජ, (වෛශ්‍ය) යන ගෝත්‍ර තුනෙන්ම සම්මිශ්‍රණ ව සෑදී තිබේ.එහෙයින් රාජවංශය ළඟට ප්‍රධාන කුලය වූ ගොවි වංශය හා රාජවංශයේ සම්මිශ්‍රණයක් ලෙසින්ද රදල යන්න හැදින්විය හැක.

🔆 මුදලි - මෙයද ප්‍රධාන යන අර්ථයෙහි ගැණේ. පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල ගම්මුදලියා යයි නම් කැරැ තිබෙන්නේ ගම් ප්‍රධානියා යනුයි.දෙමළ මොදල් ශබ්දයෙන් මුදලි යයි හෙළ බසට බිඳී තිබේ. ප්‍රධානියා මූලිකයා යන අර්ථයන්හි මුදලි ශබ්දය යෙදේ.

🔆 මුදියන්සේ - මුදලි යන අර්ථයම වැටෙන ශබ්දයකි. ගොවි වංශයේ පෙළපත් නාමයට අගින් බොහෝ කොට මේ නම යෙදෙයි.මුදලි + වහන්සේ යන ශබ්ද දෙක අපභ්‍රංශ වීමෙන් මුදියන්සේ යි නාම පදය සෑදුන බව සිතිය හැකිය.

🔆 රාළ - රාළ යනු රදල ශබ්දයේ විකෘතියකි. දකාර ලෝපයෙන් රාලයි සිද්ධ විය. දෙමළ බසින් ප්‍රධානයා පාලකයා යන තේරුම ඇති අරාලෛ ශබ්දය සිංහලයට තත් සමවු බව ද පෙනේ.

🔆 නිලමක්කාරයෝ - රජයේ ලොකු කුඩා තනතුරු දරන රජවාසල ඇතුල් කට්ටලයේ අයට නිලමක්කාරයෝ යැයි ව්‍යවහාර කරන ලදී. ආණ්ඩුවේ නිලධාරීන් යැයි යෙදිය යුතු බොහෝ තැන්හි පැරණි ලිපි වල නිලමක්කාරයෝ නිලමක්කාර තැනැත්තන් වහන්සේලා,නිලමක්කාරතැන් යයි සඳහන් කර තිබේ.

🔆 නිලකාරයෝ - වැටුප් හෝ ගම්වරයන් භුක්ති විඳිමින් සේවයෙහි යෙදෙන්නා නිලකාර නමින් හැඳින්වේ. දෙමළ නිලයන් ශබ්දයෙන් තද්සම වූ නිලකාර ශබ්දයෙන් නොයෙක් අන්දමේ සේවයෙහි යෙදෙන්නේ යන අර්ථය ලැබේ.

🔆 කට්ටලය - කට්ටලය යනු පංතිය කණ්ඩායම යන අර්ථයෙහි වැටේ.රාජකීය පරිවාර ජනයා යන තේරුමයි. මෙය තෙලකු භාෂාවට අයත් නාමයකි. රජ පවුලේ අයට හා රජුගේ පිරිවරට රාජකට්ටල යයි කියනු ලැබේ.

🔆 ඇතුල් කට්ටලය - රජවාසල ඇතුළ කුදු මහත් සේවයෙහි නියුක්ත පිරිස ඇතුල් කට්ටලයයි.රාළ නම ව්‍යවහාර කරන ලද්දේ ඇතුල් කට්ටලයේ අයට පමණකි.

🔆 පිට කට්ටලය - රාජ මන්දිරයෙන් බැහැර වඩා උසස් නොවූ සේවයන්හි යෙදී සිටි අයට සිටින පිරිසට පිට කට්ටලයයි කියති.මේ ඇතුල් කට්ටලය සහ පිට කටිටලය රජවාසල දළදා මන්දිරය, සතර දේවාලය යන ස්ථානයන්හි ඇතුළත හා පිටත රාජකාරියන්හි යෙදී සිටි අයට ව්‍යවහාර කරන ලදී.

🔆 මොහොට්ටාල - ඇතුල් කට්ටලයේ නිලමක්කාර පදවියකි.රජයේ සහ මහවාසලෙන් ලිපි සටහන් පිළියෙළ කරන්නේ මොහොට්ටාලයි.මොහොට්ටිරාළ යන ශබ්ද දෙක ගැලපීමෙන් මොහොට්ටාල ලෙස ව්‍යවහාර විය.

🔆 විදානේ - රදළවරුන්ගේ නින්දගම් වල සහ වළව්වේත් වැඩ පණිවුඩ කරන නිලධාරීන්ට විදානේ යයි ව්‍යවහාර කළහ

🔆 පණිවුඩකාරයෝ - එක් එක් ගෝත්‍රවල පණිවුඩකාරයන්ට වෙන වෙනම නම් ව්‍යවහාර කළහ.

🔺ගොවි වංශයේ අයට අතුකෝරාළ යයිද,
🔺නවන් දන්නා අයට හිංගෙඩියා යයිද,
🔺බෙර වයන ගෝත්‍රයේ අයට පනික්කියා යයිද,
🔺රදා කුලයේ අයට විදානහේනයා යැයි ද,
🔺පදු කුලයේ අයට දුරයා යයිද,
🔺සැඩොල් කුලයේ අයට හුලවාලියා යයි ද ව්‍යවහාර කළහ.

🔆 ගමරාළ - ගම් ප්‍රධානීන් වශයෙන් රජයෙන් පත් වුවන්ට ගමරාළ යයි ව්‍යවහාර කරන ලදී.

🔆 ගම්මහේ - විහාර දේවාල ගම්වල හා නින්දගම් වල ප්‍රධානීන්ට ගම්මහේ යයි ව්‍යවහාර විය.

🔆 නයිදේ - මෙයද තෙලඟු භාෂාවට අයත් ශබ්දයකි.වඩුග ජාතික කුලීනයන්ට ව්‍යවහාර කරන නායිදු යන වචනයෙන් මේ නාමය සිංහල ව්‍යවහාර වූයේ විය යුතුයි.මේ නාමයන් විශ්ව කුලයට පමණක් සීමා වී තිබේ.

දෙවනුව අප රජු හා ආශ්‍රිතව සේවය කලවුන්ගේ තානාත්තර හා රාජකාරීන් දක්වා සිටින්නෙමු.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
රජුගේ මාළිගාව හා ආශ්‍රිතව සේවය කල නිළධරයන්ගේ තනතුරු හා කාර්‍යයන්

🔆 මහනිලමේ - මහනිලමේ නම් ප්‍රධාන ඇමැතිවරයායි.යුවරජ, මහ අදිකාරම යනු ද මහනිලමේ ගේ අතිරේක නාමයෝයි. නිලමේ යන්න දෙමළ භාෂාවේ නිලමෛ යන ශබ්දයෙන් සෑදී තිබේ. එහි වචනාර්ථය අධිපතියා ඉඩම් හිමියා යන්නයි.

🔆 දුග්ගන්නා උන්නාන්සේ - සිතාවක සමයේ පටන් මේ දුග්ගන්නා ඇත්තෝ රජ මැදුරෙහි ප්‍රධාන ස්ථානයක් ගත්තෝය. රජුගේ බිසෝවරුන්ගේ පරිවාර ස්ත්‍රීන්ට සහ යකඩ දෝළි නොහොත් රජුගේ උප භාර්යාවන්ට දුග්ගන්නා උන්නාන්සේ යයි ව්‍යවහාර කරන ලදී. මේ දුග්ගන්නා උන්නාන්සේලා ඇතිවූ පවුල් උඩරට උසස් රදළ පෙළපත් හැටියට සලකන ලදී.

🔆 ගජනායක නිලමේ - රාජකීය අලිඇතුන් ඉස්තාලයේ භාරකාරයා

🔆 ප්‍රධාන කුරුවේ ලේකම් - රාජකීය අලිඇතුන් ඉස්තාලයට සම්බන්ධ පුද්ගලයන් පාලනය කරන්නා

🔆 කෙංගල්ලේ කුරුවේ ලේකම් - අලි ඇල්ලීමේ රාජකාරියට බැඳුණු පිරිසගේ ප්‍රධානියා

🔆 දුග්ගන්නා රාළ - රාජ මන්දිරයේ සේවකයන් අතුරෙන් රජුගේ විශ්වාසයට භාජනය වූ ද රජුගේ ඇතැම් රහස් පවා දැනගත්තාවූ ද නිලධාරියා දුග්ගන්නා රාළ නමින් හැඳින්වේ. ඔහු රජතුමාගේ නොයක් පණිවුඩ් ඉටු කළ බැවින් ගන්නා ලද්දේ මහත් දුකකි. දුග්ගන්නා රාළ නිසා රජුට බොහෝ විට යකඩ දෝලීන් ලැබුණු සැටිද පැරණි ලියවිලි වලින් ප්‍රකාශ වන්නේය.

🔆 බුලත්වඩන නිලමේ - මුළුතැන්ගෙයි රාජකාරි හා සම්බන්ද ප්‍රධානියා

🔆 මුළුතැන් රාළ - රජුගේ මහා වාසල මුළුතැන්ගෙයි ප්‍රධාන වූ ඇතුල් කට්ටලේ නිලමක්කාරයා මුළුතැන් රාළ නමින් හැඳින්වේ. රාජ භෝජන පිළියල කරවීමේ සියළු රාජකාරිය භාර නිලධාරියා මුළුතැන් රාළයි.

🔆 පිහන රාළ - සේවකයන් ලවා ව්‍යංජනාදියට කුළුබඩු ආදිය යොදන සැටි කියා දෙමින් විධාන කරන තැනැත්තා පිහන රාළ නම් වන්නේය.

මේ හැර රජුගේ රාජ භෝජනය ගන්නා විට මේ වඩනගෙයි රාජකාර්යයෙහි යෙදෙන ප්‍රධාන නිලමක්කාරයෝ තුන් දෙනෙකි.එනම් දියවඩන රාළ, බත්වඩන රාළ,මඩප්පු රාළයි. මේ තුන් දෙනාට දියවඩන නිලමේ, බත්වඩන නිලමේ, මඩප්පු නිලමේ කියාද ව්‍යවහාර කරන ලදී.

🔆 දියවඩන නිලමේ - රජතුමා ආහාර ගැනීමට හිඳ ගත් කළ දියවඩන නිලමේ විසින් රන් කොතලය රජතුමන්ට පිළිගන්වන්නේය.

🔆 මඩප්පු නිලමේ - මොහු විසින් රන් මණ්ඩය රජු ඉදිරියේ තබා ඒ මතුයෙහි කෙසෙල් කොලයක් එළන්නේය.ඒ සමගම මඩප්පු නිලමේ යටතේ නිලකාරයන් වන අලන්තිබාන, මාත්මයිල්ලා නම් ස්ත්‍රීහු නොපෙනෙන තැනක සිට “ආයුබෝ” කියා නික්ම යති.

🔆 බත්වඩන නිලමේ - මොහු විසින් මුකවාඩම් බැඳගෙන ව්‍යංජන තිහකින් යුත් රාජ භෝජනය රන් හැන්දෙන්,කෙසෙල් කොලය එලූ රන් මණ්ඩයට බෙදන්නේය.

රජතුමන් විසින් විශේෂ ආහාරයක් ගන්නා වාරයක් පාසාම මඩප්පු නිලමේ රාජ මණ්ඩපයෙහි කෙසෙල් කොල ( කටු කොළ) අළුතෙන් එලන්නේය.රජතුමා ආහාර වඩා අවසන් වෙන කළ ද ආලත්ති බාන්නන් විසින් රජතුමාට ආසිරි වැඩිය යුතු වෙති.

🔆 අගු බලන්නා - අගු යන්නෙහි තේරුම රස යනුයි. අගුය,අග්‍ර භෝජනය යනුත් රාජ භෝජනයට නමකි. අගු බලන්නා යන නමින් කියවෙන්නේ රාජකීය අග්‍ර භෝජනයේ රස විමසා බලන්නා යනුයි.රජතුමාට පිළියෙල කරන ලද රාජ භෝජනයට සතුරන් විසින් විෂ යොදනු ඇත යන සැකය නිසා ඇති පුරාණයේ සිට සිංහල රජුන් හා මෞර්යය වංශික රජුන් විසින් ස්වකීය භෝජනය පිළිගන්වන්නට පෙර රස බැලීමට සේවකයෙකු යෙදූ බව ඉතිහාසයෙහි දැක්වේ. ඒ චාරිත්‍රයට අනුව මහනුවර රජුන්ගේ රාජ මන්දිරයෙහි ද රාජ භෝජනය රස බැලීම පිණිස යෙදවූ නිලධාරීයා අගු බලන්නා නම් විය.

🔆 දේව නිලමේ - රජුගේ නාන ගෙයෙහි වැඩ කටයුතු භාර ප්‍රධානියා

🔆 සට්ටම්ඹි රාළ - මේ වචනය සට්ටම් පිල්ලෙයි යන දෙමළ වචනයෙන් සෑදී තිබේ.රජුගේ ශරීර කෘත්‍යයෙන් පසු රජු ස්නානය කරවා පිරිසිදු වීමට උපකාරී වන නිලධාරියාය.උණු පැන්නේ සට්ටම්ඹි ඇල්පැන්නේ සට්ටම්ඹි යයි දෙදෙනෙකි.ඇල්පැන්නේ නිලමේ යැයිද මොහු හදුන්වයි.

🔆 සළුවඩන නිලමේ - රජුන්ගේ සළුපිලි,ඇදුම් ආයිත්තම් භාරව කටයුතු කල ප්‍රධානියායි.

🔆 සැතපෙන ගෙයි මුහන්දිරම් - රජුගේ නිදන කාමරයේ සේවකයන් භාර ප්‍රධානියා

🔆 සැතපෙන ගෙයි අප්පු - රජුගේ සිරියහන් ගබඩාවේ සේවය කරන්නෝ මෙනමින් හැදින්වේ.

🔆 රනෝදා මණ්ඩපයේ ලේකම් - රන්මුවා අවිආයුධ කාමරයේ ප්‍රධානී

🔆 අතපත්තු මුරුඕපල ලේකම් - මාලිගාවේ උද්‍යාන භාර ප්‍රධානියා

🔆 මඩුවේ ලේකම් - උඩරට යුධ භටයන්ගේ ප්‍රධානියා

🔆 දුනුකාර ලේකම් - Paid duties of turmeric තනතුර

🔆 බෙත්ගේ මුහන්දිරම් - වෙදුන්ගේ හා බෙහෙත් ගබඩාවේ ප්‍රධානියා

🔆 සුදලිය මුහන්දිරම් සහ මරුවල්ලිය මුහන්දිරම් - සටන් කරුවන්ගේ ප්‍රධානින්

🔆 වාහල්කඩ මුහන්දිරම් - මාලිගාවේ දොරටු ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා

🔆 සුදු හරක් පන්තියේ මුහන්දිරම් - මාලිගාවේ අමුද්‍රව්‍ය ගබඩාවේ ප්‍රධානියා

🔆 කොට්ටල් බැද්දේ නිලමේ - කැටයම් කරුවන්ගේ ප්‍රධානියා

🔆 මහබද්දේ - බෙරවායන්ගේ ප්‍රධානියා

🔆 බඩ හැලබද්දේ - කුඹල් කරුවන්ගේ ප්‍රධානියා

🔆 රදා බැද්දේ - රෙදි සෝදන්නන්ගේ ප්‍රධානියා

🔆 හුනු බැද්දේ - හුනු පුච්චන්නන්ගේ ප්‍රධානියා

🔆 අනිලබැද්දේ - හේවිසි කරුවන්ගේ ප්‍රධානියා

🔆 කින්නරබැද්දේ - කුළු පොතුකරුවන්ගේ ප්‍රධානියා

🔆 අස්පන්තියේ මුහන්දිරම් - රජුගේ අශ්වයන් හා උන් බලා ගන්නා සේවකයන්ගේ ප්‍රධානියා

🔆 කුට්ටහ ලේකම් - රසකැවිලි සපයන පුද්ගලයන්ගේ ප්‍රධානියා

🔆 ළූණූ බැද්දේ ප්‍රධානියා - ළූණු සපයන පුද්ගලයන්ගේ ප්‍රධානියා

🔆 පට්ටිවිදානේලා - කිරි හා ගිතෙල් සපයන පුද්ගලයන්ගේ ප්‍රධානියා

🔆 පොරෝකාර මුහන්දිරම් - දර සපයන්නන්ගේ ප්‍රධානියා

🔆 ඌව මඩිහේ ගොම්බැද්දේ - බරගෙන යන්නන්ගේ ප්‍රධානියා

🔆 කංකානම් රාළ - ඇසින් බලා වැඩ කරවන්නා යන තේරුම ඇති දෙමළ වචනයකි. රජයේ ඒ ඒ පළාත් වල බලය පැවරී තිබුණේ කංකානම් රාළ නම් නිලධාරියාටය.මහවාසල,ගබඩාගම්, විහාරගම්, දේවාලගම් ආදියෙහි වෙන වෙනම කංකානමවරු සිටියෝය.

🔆 උණ්ඩිය රාළ - උණ්ඩියල් හෙවත් අයබදු අයකරණ නිලධාරියා උණ්ඩිය රාළ නමින් හැඳින්විණ. උණ්ඩියල් යනු තෙලඟු භාෂාවට අයත් ශබ්දයකි.

🔆 විදානේ රාළ - මහවාසල වැඩ පණිවුඩ වල යෙදුනු නිලමක්කාරයෙකි

🔆 අතපත්තුවේ ලේකම්,අතපත්තුවේ මුහන්දිරම - අතපත්තු හමුදාව දෙමළ භාෂාවෙහි ආත්තු පාත්තුප් යන ශබ්දයෙන් අතපත්තු නාමය සිංහලට බිඳී තිබේ. රැකබලා ගන්නෝ යනු එහි තේරුමයි. මහනුවර යුගයෙහි සිංහල නරපතියන්ගේ ආරක්ෂක භට හමුදාව අතපත්තු හමුදාව නමින් හැඳින්වූහ.අතපත්තුවේ ලේකම්,අතපත්තුවේ මුහන්දිරම යන ජන ප්‍රධානීහු අතපත්තු හමුදාවේ සිංහල නිලධාරීහු වෙති.

🔆 කටුපුල්ලේ ඇත්තෝ - සිංහල රාජ්‍යයේ පොලිස් හමුදාවට කටුපුල්ලේ ඇත්තෝ යයි ව්‍යවහාර විය. රජයෙන් නියම කරන ලද වරදකරුවන් මහ රජු හෝ මහ නිලමේ ආදී උසස් තැන් වෙත ගොස් භාරදිම කටුපුල්ලේ ඇත්තෝ සතු රාජකාරියයි.

මොවුනට අමතරව ශ්‍රී දළදා මාළිගය ආශ්‍රිතව රාජකාරි කිරීම සදහා පත් කළ වෙනමම නිලමක්කාරයන් පිරිසක් වූහ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
දළදා මන්දිරයේ ප්‍රධානීහු

දළදා මන්දිරයේ ඇතුල් කට්ටලයේ නිලමක්කාරයෝ නම් දියවඩන රාළ,දිව නිලමේ හෙවත් දියවඩන නිලමේ,වට්ටොරු රාළ,කාරියකරවන රාළ යන ප්‍රධාන නිළධාරීන් වෙති.

🔆 දියවඩන රාළ,දිව නිලමේ,දියවඩන නිලමේ - දළදා මන්දිරයේ ප්‍රධානියා වේ.

🔆 කාරියකරවන රාළ - දළදා මාළිගාවේ රාජකාරි කරනවුන් ලවා වැඩ කරවීමත් මාළිගයට ඇවැසි ද්‍රව්‍ය සපයා ගැනීමත්,තේවා සදහා අවශ්‍ය කටයුතු සම්පාදනයත්,පෙරහැර පවත්වන දිනය හා වෙලාවන් ගම් දහයේ විදානෙලාට දැනුම් දීමත් මොහු විසින් සිදු කරයි.

🔆 වට්ටොරු රාළ - උඩ මහලේ සදුන් කුටියේ රන් ආයිත්තම් ආරක්ශා කිරීමත් දළදාවහන්සේගේ තේවාව සදහා සහාය වීමත් මොහුගේ රාජකාරිය වේ.

🔆 ගෙපරාළ - සදුන් කුටියට යාබද ගෙපලුන් බරදය භාරව ක්‍රියා කිරීමත් තේවා සදහා බොලපැන සකස් කිරීම හා උණූ පැන් සහ සිසිල් පැන් කෙණ්ඩිවලට දමා ගෙන යාමත් මොහු විසින් ඉටු කරයි.

🔆 කත්තියන රාළ - මුල්තැන්ගේ පිසින ලද ව්‍යංජන තිස් දෙකක් සහිත දානය හේම කද තබාගෙන ඉහළ මාලයට ගෙන යාමත් නානුමුර මංගල්ලය සදහා බෙහෙත් ද්‍රව්‍ය වලින් නානු පිළියෙල කර ගැනීමත් මොහු විසින් සිදු කරයි

🔆 පල්ලේමාල රාළ - පල්ලේමාලේ තේවා කටයුතු භාර ස්වාමින් වහන්සේලාට ඒ සඳහා සහාය වන අතර අවසන් රන්දෝලි පෙරහරින් පසු පෙරහැර කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කළ පසු එහි තේවා කටයුතු සඳහා සහය වීමද පල්ලේමාල රාළට පැවරී තිබේ.

🔆 නැකත්රාළ - දළදා පෙරහැරට අයිති සියලුම කාර්යයන් නැකත් අනුව සිදු කිරීම සදහා නැකත් සැකසීම මොහු විසින් ඉටු කරයි.

🔆 දළුමුර තැන - මෙහි දලුමුර තැනගේ රාජකාරිය වූයේ දළදා මාලිගාවට බුලත් සැපයීමයි.ඔහු විසින් මාසිකව බුලත් 800 දළදා මාලිගයටත්,100 ස්වාමින් වහන්සේලා තුන් නමකටත්,100 කාරියකරවන රාළටත්, 40 කංකානමටත්,40 වට්ටෝරු රාළටත්,100 මොහොට්ටාලටත්,40 පල්ලෙමාලේ රාළටත්,40 ගෙපරාළටත් වශයෙන් සැපයීම සිදු කරන ලදී.

🔆 හදුන්මුර තැන - හදුන්මුර තැනගේ රාජකාරිය වූයේ සෑම බදාදාවකම මාළිගාවට ගොස් දළදා වහන්සේගේ බදාදා දින පැවැත්වෙන නානුමුර මංගල්ලය සදහා ඇවැසි හදුන් ගලගා පූජා කිරීමයි.කත්තියන රාළ සදුන් ඇතුළු බෙහෙත් ද්‍රව්‍ය වලින් නානු පිළියල කර ගන්නා අතර ඊට ඇවැසි හදුන්,ගලක උරච්චි කොට නානුමුර මංගල්ලය සදහා පූජා කිරීම මොහුගේ කාර්‍ය විය.

එසේම එකල පැවති දළදා මාළිගය ආශ්‍රිතව පැවති සතර මහා දේවාලයන්හි රාජකාරි සදහා රජු විසින් පත් කළ වෙනමම ප්‍රධානීන් පිරිසක් වූහ.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
දේවස්ථානයන්හි සිංහල ප්‍රධානීහු

🔆 බස්නායක නිලමේ - දේවාලයට අයත් ගම්වර හා සියළු දේපල භාරකාරයා හා පාලකයා වනුයේ බස්නායක නිලමේ ය. දේවාලයේ පෙරහැර මංගල්‍යය ආදි වැදගත් අවස්ථාවල දේවාලයට පැමිණෙන විට දේවාලයේ නිලකාරයෝ පෙර ගමන් කොට ගරු බුහුමන් දක්වා පෙරහැරින් කැඳවා ගෙන ඒම පෙර සිරිතය.

🔆 කපුරාළවරු - දේවාලයන්හි බස්නායක නිලමේ යටතේ සිටින නිලධාරියා කපුරාළය. දේව පූජා සහ තේවාව භාරව සිටින්නේ මොහුය.මොවුනට දෙවියන් වැඩමවන අවස්ථාවේදී පමණක් අලි ඇතුන් පිටින් ගොස් තේවාව කිරීමට එකල අවසර තිබුණි.

🔆 වන්නකු රාළ - ද්‍රව්‍යයන් මිල කරන්නා වන්නකු රාළයි.වන් අක්කු යන දෙමළ ශබ්දයෙන් තත් සම වූවකි.

🔆 මොහොට්ටාල - වන්නකු රාළ සහ මොහොට්ටාල යන දෙදෙනා රජවාසල සහ දේවාලයෙහි ප්‍රධාන නිලධාරීහු වෙති.

මෙම සියළු දෙනාම බස්නායක නිලමේ ගේ සංවිධානයට යටත් වන්නාහුය. මේ එක් එක් නිලයක් සඳහා පරවේණි ඉඩම් පංගු භක්ති විඳින්නෝය. මොවුන්ගේ සේවයට රාජකාරිය යයි කියනු ලැබේ.

ඉංග්‍රීසින් සමග 1815 දී කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමේදී එවකට පැවති රාජකීය නිළ තනතුරු ලැයිස්තුව අප මෙසේ ගෙන එමු.

උඩරට ප්‍රධානීන්ගේ ලැයිස්තුව
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මහ අදිකාරම්
දෙවන අදිකාරම්
හතර කෝරළේ දිසාව
හත් කෝරළේ දිසාව
මාතලේ දිසාව
තුන් කෝරළේ දිසාව
සපරගමුවේ අටකලන් කෝරළේ හා
කුරුවිටි කෝරළේ දිසාව
සපරගමුවේ මැද කෝරළේ හා කොලොන්නේ කඩවත් දිසාව
ඌවේ දිසාවවරු

උඩ පළාතේ දිසාව
වැල්ලපානේ දිසාව
බින්තැන්නේ දිසාව
වෙල්ලස්සේ දිසාව
නුවර කලාවිය දිසාව
තමන්කඩුව දිසාව

උඩුනුවර රටේ මහත්මයා
යටිනුවර රටේ මහත්මයා
හාරිස්පත්තුවේ රටේ මහත්මයා
දුම්බර රටේ මහත්මයා
හේවාහැට රටේ මහත්මයා
කොත්මලේ රටේ මහත්මයා
උඩ බුලත්ගම රටේ මහත්මයා
යටි බුලත්ගම රටේ මහත්මයා
මීමුරේ රටේ මහත්මයා

මහ දියවඩන නිලමේ
පල්ලේවාහල දියවඩන නිලමේ
මහ ගබඩා නිලමේ
උඩගබඩා නිලමේ
පල්ලේවාහල ගබඩා නිලමේ
භාණ්ඩාගාරයේ වන්නකු නිලමේ
බත් වඩන නිලමේ
ගජනායක නිලමේ

මහ ලේකම්
අතපත්තු ලේකම්
වෙඩික්කාර ලේකම්
නානායක්කාර ලේකම්
වඩන තුවක්කුකාර ලේකම්
පඩිකාර ලේකම්
කොඩිතුවක්කුකාර ලේකම්
මඩුවේ ගංගාකාර ලේකම්
කුරුවේ ලේකම්
කෙංගෙල්ලේ කුරුවේ ලේකම්
මාතලේ කුරුවේ ලේකම්
දුනුකාර ලේකම්
කූනම් මඩුවේ ලේකම්

සැතපෙන ගෙයි මුහන්දිරම්වරු
රන් ආයුධ මණ්ඩපයේ ලේකම් සහ අතපත්තුවේ මුහන්දිරම්
මුර පොළේ
සුදලිය මුහන්දිරම්
මරුවල්ලිය මුහන්දිරම්

🔆 පන්සල් ප්‍රධානීන්
ප්‍රධාන පන්සල වූ දළදා මාලිගාවේ ප්‍රධානියා හෙවත් දියවඩන නිලමේ
නාථ දේවාලයේ බස්නායක නිලමේ
මහ දේවාලයේ බස්නායක නිලමේ
කතරගම දේවාලේ බස්නායක නිලමේ
පත්තිනි දේවාලේ බස්නායක නිලමේ

🔆 අනිකුත් ප්‍රධානීන්
දාන ශාලාවේ වන්නකු නිලමේ
කොට්ටල් නිලමේ
මහබද්දේ හෙවත් බෙරවා ප්‍රධානියා
බඩහැලබද්දේ හෙවත් වළං සාදන්නන්ගේ ප්‍රධානියා
රදාබැද්දේ හෙවත් රෙදිසෝදන්නාගේ ප්‍රධානියා
හුනුබැද්දේ හෙවත් හුනු පුච්චන්නගේ ප්‍රධානියා
අනිලබද්දේ ප්‍රධානියා
කින්නරබැද්දේ ප්‍රධානියා
අස්පන්තියේ මුහන්දිරම්
උඩුනුවර මුහන්දිරම්
යටිනුවර මුහන්දිරම්
තුම්පනේ මුහන්දිරම්
හාරිස්පත්තුවේ මුහන්දිරම්
දුම්බර මුහන්දිරම්
හේවාහැට මුහන්දිරම්

සුදු හරක් පන්තියේ පිළිබඳ මුහන්දිරම්වරු
කුට්ටහ ලේකම්
ලුනුබැද්දේ ප්‍රධානියා
පල්ලේ විදානේ
පොරෝකාර මුහන්දිරම්
ඌව ගම්බැද්දේ
4 කෝරළේ මඩිහේ
පහළ බුලත්ගම ප්‍රධානියා

සිංහල රාජ්‍යයේ මේ කාර්ය මණ්ඩලය කුදුමහත් සේවයන් වැඩවසම් පාලන ක්‍රමයට යටත්කොට සංවිධානය කරන ලද්දේය. නින්දගම් හැර දේවාලගම්, විහාරගම් ගබඩාගම් වල වසන ජනයා සහ රජයේ සියළු නිලමක්කාරයන් හා නිලකාරයන් විසින් වර්ෂයකට දවස් පහළොවක් ඒ ඒ සේවයන් කළ යුතුය. විහාරගම් හා දේවාලගම් වල වසන්නෝ විහාර දේවාල පිළිබඳ ඒ ඒ කටයුතු කාල සීමා සහිතව රාජකාරීය කළ යුතු විය.රජුගේ ගබඩාගම් හැර විහාර දේවාල ගම්වල නිලමක්කාරයන් හා නිලකාරයන් විසින් පසළොස් දිනක් තමත් සතු රාජකාරිය ඉෂ්ට කළ යුතු විය.මේ නිලකාරයන් අතුරෙන් ඉතා පහත් කටුකදායක වූ දාස මෙහෙවර කරන්නට යෙදුනේ නින්දගම් භුක්ති විඳින්නන් විසිනි.

පහත රට පෘතුගීසි ආණ්ඩුව යටතේ කටයුතු කළ සිංහල නිලධාරීන් හටද මුදලි, මුහන්දිරම්, අතුකෝරාළ, පට්ටන් කට්ටි, විදානෙ රාළ, කංකානම් යන තානාන්තර ලබාදී තිබේ. ක්‍රි.ව.1815න් පසු ඉංග්‍රීසින් විසින් "උඩුනුවර,යටිනුවර,හාරිස්පත්තුවේ, දුම්බර පැවති රටේ මහත්වරුන්ගේ" තනතුරු අහෝසි කර එකී බලතල ඉංග්‍රීසි ආණ්ඩුවේ කොමසාරිස්වරුන්ට පවරා ඔවුන් යටතේ ගම් පාලනය සඳහා "ආරච්චිවරුන්" නම් නිළධාරීන් පත් කොට තිබේ.

අප විසින් සැකසුනු මෙම ගවේෂණාත්මක ලිපියේ කරුණු උපුටා ගැනීමේදී කරුණාකර කතෘ අයිතිය සුරකින මෙන් සියළු සහෘදයින්ගෙන් ඉල්ලා සිටිමු.

මූලාශ්‍ර - පී.ඇම්.පී.අභයසිංහ මහතාගේ උඩරට විත්ති ග්‍රන්ථය.
මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ 1818 උඩරට මහ කැරැල්ල ග්‍රන්ථය.
ඒ.සී.ලෝරි මහතාගේ A Gazetteer of the Central Province ග්‍රන්ථය.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.කේ.ජයසේන මහතාගේ ලංකාදීප පුවත්පතේ පලවූ ලිපි.

ගත්සයුර 🖋️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when News UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share