25/05/2024
" තල් සූකිරි "
_________________
අයිරාංගනී කියන්නේ ගමේ ලස්සනම පස්ස තිබුණු ගෑනි.ඉනෙන් පල්ලෙහට වැටිච්ච දිග කොණ්ඩෙ තනිකරලට ගොතාන ඒ කන්දටයි මේ කන්දටයි පද්ද පද්ද ඒකි ඒකිගෙ ගමන යනවා.
කොහෙද ඉතිං,ගමේ පිරිමින්ටත් ඒකි පාරේ ඇවිදිනවනම් යන ගමනත් අමතක කරලා ඒ පස්සෙ ඇදෙනවා.
" අයිරා මේ කොහෙද යන්නේ වලව්වටද ? අද හාමුට රජමඟුල්.කොහෙද ඉතිං අපිට එහෙම එකක්.පොඩි අපිට කොහෙද ලොකු සැලකිලි."
හයිය හත්තිය තියෙන උසමහත පිරිමි ඉටිපන්දම් වගේ ඒකි ගාව දි දිය වෙනවා.
අයිරගෙ වදමල් පාට ලොකු යටිතොලට උඩින් තියෙන උපන්ලපේ හරියට වදපෙත්තට ඇදෙන මීමැස්සෙක් වගේ.ඒ මූණෙන් පිරිමින්ට කිසිම හිනාවකින් හෝ ඉනාවක් නොදෙන අයිරා තමන්ගේ පාඩුවේ ගමන යනවා.
අයිරා ඔය වලව්වට ඇදෙන්නේ හාමුගෙ දුවයි පුතයි බලාගන්න.අයිරා හරි ආදරෙයි හාමුගෙ දුවට.ඒකි පොඩි කාලෙ ඉදන් හැදුනෙත් වලව්වෙ.වලව්වෙ දැන් ඉන්න හාමුත් ඒ කාලෙ පොඩියි.
මද පිරෙන මුල් වයසෙදිම පොඩි හාමු එක්ක අල්ලන සෙල්ලම් අල්ලලා අයිරා වලව්වෙනුත් ගමනුත් පිටමං කරා.ඒත් එක්කම පුංචි හාමු බැන්දා.ගහෙන් ගෙඩි එනවා වගේ හාමුට දුවෙක් ලැබුනා.ඒත් එක්කම මාත් මගෙ මිනිහගෙන් පස්වෙනි පාරටත් බඩ උනා.
අයිරා ආයෙත් ගමට ආවේ ඇගපත පුරෝලා දාලා.ගානට පුංචියට තිබුණු හංසපැටව් ජෝඩුව පිරිලා ඇඟ හැඩ වෙලා.
" උඹ ආයෙත් වලව්වටම කඹුරනවද අයිරා ?"
ගමේ මිනිස්සු විහිළු කරත් අයිරා ඒ විදියටම වලව්වට ගෑටූවා.
අයිරා වලව්වෙ දරුවන්ට තල් සූකිරි, උක් සූකිරි අරන් යන්නෙ අපේ කඩපිලෙන්.ඒකි පුංචි සංදියෙත් මෙතෙන්ට දුවන් එනවා තල් සූකිරි අරන් යන්න.
" කාටද බොල මේ සූකිරි ? "
මම එහෙම අහනකොට
" පුංචි හාමුටයි මටයි " කියල ඒකි ඇඹරෙනවා.ඊටපස්සෙ වලව්වට දුවනවා.
එක කෙම්මුර දවසක මහ රෑ මුළු ගමම දෙවනත් වෙන්න ගල් බෝර සද්දයක් ඇහිලා ගමේම බල්ලො ගීතිකා කියනවා වගේ උඩුබුරන්න ගත්තා.හුලං සද්දෙයි අකුණු විතරක් පිපිරුණු පොද වැස්සයි නිසා ඒ සද්දබද්ද ඇහෙන්නැතුව ගියා.
පහුවදා උදේ පාන්දර ගමේ මිනිස්සු වලව්වට දුවනකොට කොණ්ඩෙත් බාගෙට බැද බැද අයිරා වලව්වට දුවනවා මං දැක්කා.
" වලව්වෙ දූ හීනෙන් කියෝලා වලව්වට උඩින් තියෙන කැලේට ඇවිදලා මග ගලෙන් වැටිලා මැරිලා.මේක නං යක්ෂ බැල්මක්.! මේක යකාගෙ අඩවියක්.!"
ගමේ මිනිස්සු අතර කසුකුසුව ගියේ.එදා ඉදන් වලව්වට උඩින් තියෙන රූස්ස කැලේ ගමේ මිනිසුන්ට " යකාගෙ අඩවිය " උනා.
දවසින් දවස ගමේ ගෑණු දැරිවියො නැති වෙන්න ගත්තේ ඔය සිද්ධියෙන් පස්සෙ.ගමේම මිනිස්සු සැක කලේ " යකාගෙ අඩවිය ". ඒ රෑස්ස කැලෑ පීරන් හෙව්වත් ඒ දරුවො නම් හොයාගන්න ලැබුනෙ නෑ.මිනිස්සු බයටම හවස හත අට වෙනකොට දොරවල් වහගෙන මැටිපැලවල් ඇතුලෙ හැංගෙනවා.වලව්වෙනුත් පොලීසියෙනුත් කිව්වේ එහෙම ඉන්ටය කියල.
පාන්දර එකට විතර මට ආපූ මූත්‍රාබර හින්ද මට දොට්ටපිලට නැවෙනකොට මන්නයක් ගත්තු ගෑනියෙක් පාරෙ ඇවිදන් ඇවිදන් එනවා මට පෙනුනා.ඒ දර්සනේට මට මලපහ වෙන්ට ආවත් ගමේ හැමෝම ගෑනු දැරිවියො නැති කරන්නේ මේ හොල්මන වෙන්ට ඕනෑ යැයි හිතපු මම සියලු හයිය අරන් නැගිට්ටා.
මටත් ඉන්නෙ ගෑනු දරුවෙක්.
" කව්ද ඔතන ? "
ඉක්මන් ගමනින් ගිය ගෑනි හදිස්සියේ නැවතිලා මම ඉස්සරහට එන්‍ට ගත්තා.
" අක්කෙ මම අයිරා.."
කොණ්ඩෙ බූසියක් වගේ අව්ල් කරගත්තු අයිරා ලේ පෙරාගත්තු මන්නයක් අතින් අරන් වදමල් තොල් විසිරුවලා වියරුවෙන් හිනා උනා.හඳ එළියට ඒකිගෙ මූණ මට පෙනුනා.
" ඇ..අ.ඇයි බං මේ." මම වචන ගොත ගගහ එහෙම අහනකොට ඒකි,
" මම හාමුට කෙටුවා.ඕකා..ඕකා බිලිදෙන්න මගෙ කෙල්ලව මැරුවා.කාලකණ්නියා.! "
සිද්ධි සියල්ල පෝළිමට ඔලුවට එනකොට අයිරා ආයෙත් මට කතාකරා.
" අක්කෙ, මට තල්සූකිරි අහුරක් දියන්.උඹ මේක තියාගනින්."
මගේ අතේ පොඩි රෙදි මල්ලක් තියපු අයිරා අතේ ලේ තියෙද්දිම තල්සූකිරි අහුරක් කටට හලාගත්තා.
" යන්නං " එච්චරක් කියපු ඒකි පාරේ නොපෙනී යනකම්ම මම බලාගෙන හිටියා.
හඳ එළියෙන් පේන ලේ බිංදු හේදිලා යන්න වතුර කළයක් හලලා අර රෙදි මුලත් ගුලි කරන් මම පැදුරේ ඇලවුනා.
උදේ කඩේ පැත්තෙන් ඇහෙන ගමේ ඈයොන්ගෙ කසුකුසු හින්ද මම ඇහැරුනා..
" හාමුගෙ බෙල්ල හොයනකොට තව මිනී තිබිලා පොලීසියෙ මහත්තුරුන්ට පෑගිලා.ඒව මේ ගමේ නැති වෙච්ච ගෑනු දැරිවියොගෙලු.අනේ අපොයි.! "
" ගලේ නිධානේ ගන්නයි මගෙ කෙල්ලව බිලි දීලා තියෙන්නෙ දෙයියනේ.! "
" මෙච්චර කල් වලව්ව කියල කර තියන් හිටිය මදෑ .ඔය කොරල තියෙන්නෙ මිනීමරන හොර පවුල.! "
" අම්මෙ ..අම්මේ, වලව්ව හාමුට කොටලා කව්ද යක්සනියක්.හාමිනේ දැකලා බයවෙලා.පොලීසියෙන් ඇවිත් කන්ද පීරනකොට හාමුගෙ බෙල්ල ගලෙන් පාත තිබිලා. "
දෝණි උදේම කනලග බෙරිහන් දෙනකොට මම ඒකිව ලගට ඇදල තුරුල් කරගත්තා.අයිරා දීපු රෙදි මුල එහෙමම මගේ අතේ ගුලි වෙලා තාම.මම ඒක දිග ඇරියා.පාට පාට සූකිරි ඇට ටිකක් මගෙ අතින් බිමට වැටුනා..මැටි පොළවෙ මැණික් කැට සී සීකඩ විසි උනා.
අනුත්තරා_